Tuesday, May 7, 2024

General line - 0115112241

රට කැළඹූ යාපනයේ නගරාධිපති ගැන අධිකරණ තීන්දුවක්




අත්අඩංගුවටගත් යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබෙනවා. සැකකාර නගරාධිපතිවරයා ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය සඳහා අනුබල දුන් බවට එල්ල වූ චෝදනාව මතයි.

යාපනය මහනගර සභාවේ පරිසර ආරක්ෂණ රාජකාරී සඳහා බඳවාගත් බව පැවසෙන සේවකයන්ට ලබාදී තිබූ නිල ඇඳුමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවටයි නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ. යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබූ අතර  ඔවුන්ට මෙම විශේෂ නිල ඇඳුම ලබා දී තිබුණා. යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මීට පෙර පවසා තිබුණේ යාපනය නගරය අලංකාරව හා පිරිසිදුව තබාගැනීම හා ඒ පිළිබඳ රජකාරී සඳහා මොවුන් බඳවා ගත් බවයි. 

පරිසර රාජකාරී සඳහා බඳවාගත් පැවසෙන, පොලිස් නිලධාරීන්ද නොවන මෙම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද පසුව දැක ගැනීමට හැකි වුණා. මේ පිළිබඳ දැඩි කථා බහක් මතු වුණේ මෙම සේවකයන්ගේ නිල ඇඳුම එල්.ටී.ටී.ඊ. පොලීසිය විසින් භාවිත කරන ලද නිල ඇඳුමට සමාන වීම හේතුවෙන්.

කෙසේවෙතත් යාපනය නගරාධිපතිවරයා පවසුවේ, මේක මෙම නිළ ඇදුමේ කිසිදු යටි අරමුණක් නොමැති බවයි. එහෙත් මෙම නිල ඇඳුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යාපනය පොලීසිය යාපනයේ නාගරික බලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ද සටහන්කර ගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.