Wednesday, May 15, 2024

General line - 0115112241

හෙට සියලු බැංකු විවෘත කරන්නැයි නියෝගයක්




රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට දිනයේ විවෘතව තබන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි කියා සිටියේ හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බවයි. 

මේ අතර හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ඉකුත් සිකුරාදා හදිසියේ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් සහ ගනුදෙනු කරුවනට චෝදනා මුඛයෙන් අදහස් පල කළා. ඒ, හෙට දිනයේ සැලසුම් කර තිබූ බැංකු ගණුදෙනු සිදු කර ගැනීමට නොහැකි වන බව පවසමින්. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන හා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ ද අවධානයට යොමු කළා.

ඇතැම් පාර්ශව ප්‍රශ්ණ කළේ කොවිඩ් ව්‍යාප්තියක් සමග බොහෝ කලක් නිවසට වී ගත කළ ජනතාවට අවුරුද්දට යැයි පවසා මෙලෙස වැඩ කළ හැකි දිනයක නිවාඩු ලබා දීම කෙතරම් යෝග්‍යයද යන්නැයි. නෙත් නිවුස් ඒ පිළිබඳවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරිගෙන් විමසීමක් කළා. 

මේ අතර එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ක දීමනාව ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාල විශේෂ චක්‍රලේඛය ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ රටේ පැවති හා පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල්වලට ඔවුන්ට ලැබෙන මාසික දීමනාවට අමතරව එක් වරක් පමණක් රුපියල් 5,000ක දීමනාවක් ගෙවිමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සඳහාත් අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ එවැනි පවුල් සඳහාත් පමණක් මෙම රුපියල් 5,000 දීමනාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ. 

මෙම දීමනාව ගෙවීමේදී ප්‍රතිලාභීන් සිටින පවුලකට එක් රුපියල් 5,000ක් පමණක් ලැබෙන පරිදි ගෙවිය යුතු බවටද රජය දැනුම් දී තිබෙනවා.