Wednesday, May 15, 2024

General line - 0115112241

පවතින අවධානම අවතක්සේරු නොකරන්න - හමුදාපති මහජනතාවට අවධාරණය කරයි




අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අතිශය වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට දැනුම් දෙනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින අවධානම අවතක්සේරු නොකළ යුතු බවයි. අහඹු ලෙස කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමද මේ වන විට සිදු කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

රෙදි පෙළි මිලදී ගැනීමේ දී හා භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිලිපදින තත්ත්වයක් දක්නට නොලැබෙන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පැවසුවා. අවුරුද්දෙන් පසු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් නොවීමේ වගකීම ඇත්තේද ජනතාව සතුවම බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

පොදු ප්‍රවාහන සේවයේදීද ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. 

මේ අතර අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද දිනයේද ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලය පමණක් ධාවනයට එක්කර ඇති අතිරේක බස්රථ සංඛ්‍යාව 200කට අධිකයි. විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මක වනවා.

කෙසේවෙතත් නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ ගම්බිම් බලා යන ජනතාවගේ යම්කිසි අඩුවක් ඊයේ දිනයේ දක්නට ලැබුණු බවයි. ප්‍රවාහන පහසුකම් නිසි පරිදි යොදවා තිබුණද මගීන්ගේ පැමිණීමේ අඩුවක් ඊයේ දිනයේත් දක්නට ලැබුණා.