Wednesday, May 15, 2024

General line - 0115112241

විෂ පොල්තෙල් තොග රට පැටවීම ඇරඹේ




මෙරටට ගෙන්වා තිබූ ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය අඩංගු පොල්තෙල් තොගයෙන් කොටසක් ප්‍රතිඅපනයනයන කිරීම අද ආරම්භ වුණා.

මෙලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරි සමාගම මෙරටට ගෙන්වූ පොල්තෙල් කන්ටේනර් 06ක්. එහි අඩංගු පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 105ක්.

එම කන්ටේනර් නැව්ගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.

සමාගම් තුනක් විසින් මෙරටට ගෙන්වා තිබූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය අඩංගු බවට පළමුවරට තහවුරු වුණේ ඉකුත් මාර්තු මාසයේයි.

පසුව අදාල සමාගම් කළ ඉල්ලීම්වලට අනුව එම පොල්තෙල් සාම්පල යළිත් වරක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පරීක්ෂාවට ලක් කෙරුණා.

එහිදී ද තහවුරු වුණේ එම පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය ඉතා ඉහල මට්ටමකින් අඩංගු වී ඇති බවයි.

ඒ අනුව එම පොල්තෙල් තොග සියල්ල ප්‍රතිඅපනයනය කිරීමට නියෝග කෙරුණා. ඒ අනුව අද නැව් ගත කරන පොල්තෙල් තොගය ඒවා මෙරටට ගෙන්වූ මැලේසියාවටම ඒවා පිටත්කර හරිනු ඇතියි.