Tuesday, May 14, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ වැඩ දැමූ සිව්දෙනා පොලිස් දැලේ - රියදුරා රිමාන්ඩ්




දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අන්තරාදායක ලෙස මෝටර් රථයක් ධාවනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් සිව්දෙනා අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාශය මගින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ද ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය කෙරුණු මෝටර් රථයක සිටි තරුණයින් සිව්දෙනෙකු ඔවුන්ගේ උඩුකය මෝටර් රථයෙන් පිටතට යොමු කර අන්තරාදායක ලෙස කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ඉකුත් දා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. ඉන් අනතුරුවයි පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.