Saturday, May 11, 2024

General line - 0115112241

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි




ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනයක් අද නිකුත් කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. 

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන මෙරට තුළ තහනම් වනු ඇති. ඊට අමතරව දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් ෂීෂී, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන ද මෙරට තුළ තහනම් සංවිධාන ලෙසයි එම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.  

රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් ප්‍රයත්නයන් දරණු ලබනවා. එම ප්‍රයත්නයන් වැඩි දියුණුකර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස අදාළ සංවිධාන තහනම් කර ඇතැයි එම ගැසට් නිවේදනයේ සඳහන්.

ඒ අනුව මෙරට තුළ හෝ මෙරටින් පිටත දී කිසිදු පුද්ගලයෙකු විසින් එම සංවිධානයක හෝ සංවිධානය නියෝජනය කරන හෝ එම සංවිධානය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයින් හා සම්බන්ධ වීම, ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන වෙනත් සංවිධානයක ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ ඒවා කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයකට සහය නොදිය යුතු වනවා. 

එමෙන්ම එම සංවිධානයක සාමාජිකයෙකු හෝ සමූහයක සාමාජිකයෙකුවීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංජන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම, එසැවීම හෝ සන්තකයේ තබා ගැනීම තහනම් වනු ඇති. එසේම රැස්වීම් කැඳවීම, රැස්කිරීම, පැවැත්වීම හෝ ඊට සහභාගීවීම ද තහනම් වනවා.

අදාළ සංවිධානවල සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම, එහි සාමාජිකයෙකුට හෝ සමූහයකට රැකවරණය සැලසීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම හා ගනුදෙනුවක නිරත වීම ද තහනම් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. කිසියම් පුද්ගලයෙකු විසින් එම නියෝග උල්ලංඝණය කර වරදකරුවෙකු වුවහොත්, එම පුද්ගලයාට විරුද්ධව මහාධිකරණයක් මගින් වසර 20 ක් නොඉක්මවන සිරදඬුවම් නියම වන බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.