Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් මිලියන 03 ඉක්මවන ලකුණු : කොවිඩ් ව්‍යාප්තියේ අවධානම් කාලය එළඹෙන සති 03 තුලයි -  විශේෂඥයින් අනතුරු අඟවයි 




මේ වන විට දැඩි කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බැට කන අසල්වැසි ඉන්දියාවෙන් ගතවූ පැය 24 තුලදී කොවිඩ් ආසාදිතයින් 332,503 දෙනෙක් සහ මරණ 2,256ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටිනවා.

ඒ අනුව ගතවූ පැය 24 තුලදී ලොවපුරා වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යා ඉන්දියාවෙන් වාර්තා වි තිබෙනවා.

මේ අතර මුම්බායි සිට කිලෝමීටර් 70ක් දුරින් පිහිටි විරාර් හි රෝහලක දැඩි සත්කාර ඒකකයක ඇතිවූ ගින්නකින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර දිල්ලි හි පිහිටි රෝහල් රැසක් කොවිඩ් ආසාදිතව අසාධ්‍යව පැමිණෙන රෝගීන්ව භාර ගැනීම අත්හිටුවා තිබෙනවා. ඒ එම රෝහල්වල රෝගීන්ට ලබාදීමට ඇති ඔක්සිජන් තත්ත්වය තවත් පැය 02-03 කට පමණක් සීමාවී ඇති බව පවසමින්ය.

මේ අතර එළඹෙන මැයි මාසයේ 11-15 අතර කාල සීමාව වන විට ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 33-35ත් අතර ඉහළ යනු ඇති බව එරට විශේෂඥයින් පවසනවා. 

මේ වන විට ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24ක් වනවා.

ව්‍යාප්ත වන කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥයින් පිරිසක් විසින් සකස් කරන ලද මොඩියුලයක් ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් අදහස් පළකර සිටිනවා. ඔවුන් සඳහන් කරන පරිදි ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ අවධානම මැයි මාසයේ අග භාගයේ දී පහව යනු ඇති බවයි. 

එමෙන්ම ඉන්දියාවේ කොවිඩ් තත්ත්වයේ උච්ජතම අවස්ථාව මේ දක්වා එළඹී නොමැති බවත් අප්‍රේල් මස අවසාන සතිය සහ මැයි මාසයේ දෙවන සතිය අතර කාලය ඉතා අවධානම් කාලයක් බවට එම විශේෂඥයින් අනාවැකි පළකර සිටිනවා.

මේ වන විට ඉන්දියාවේ සෞඛ්‍ය කේෂ්ත්‍රය දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අතර ඉදිරි මැයි මාසය පුරාවට ද කොවිඩ් ව්‍යාප්තියේ දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.

ගතවූ දින 04ක කාලය තුලදී ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියනයක් වාර්තා වී තිබෙන අතර ආසාදිතයින් වාර්තා වීම සිඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටින්නේ.