Saturday, May 11, 2024

General line - 0115112241

කොවිඩ් පාලනය දැඩි තීන්දු ගත් රටවල් අද සාමාන්‍යය තත්ත්වයට ඇවිත් : ඔක්ස්ෆර්ඩ් ආර්ථික විශේෂඥයෙක් පෙන්වා දෙයි 




කොවිඩ් පාලනය කිරිමට කටයුතු කළ රටවලට සාපේක්ෂව වෛරසය රට තුලින් සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට ක්‍රියාකළ රටවල් වසංගතය හේතුවෙන් අවම මරණ සංඛ්‍යාවක්, වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කරමින් සහ වැඩි නිදහසක් හිමිකර ගැනීමට සමත්වූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විශේෂඥයින් විසින් සිදුකළ පර්යේෂනයක් ඇසුරෙන් සකස් කරන ලද ලිපියක් ලාන්සට් විද්‍යා සඟරාවේ පළකර තිබු අතර "ශුන්‍ය කොවිඩ්" ප්‍රතිපත්තිය මත කටයුතු කළ රටවල් තම පුරවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වඩාත් හොදින් කටයුතු කළ බව එහි සඳහන් කර තිබෙනවා.

" වසංගතය ආරම්භයේදීම නවසිලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් විසින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට අගුලු දැමීමට සහ කොරෝනා වෛරසය රට තුලට ඇතුල්වීම වැළැක්වීම සඳහා සිය දේශසීමා වසා දැමුවා. එමෙන්ම රට තුල සිටින ආසාදිතයින් හඹා යමින් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනු ලැබු බවයි එහි දැක්වෙන්නේ.

එම රටවල් දෙක විසින් අනුගමනය කළ මෙම ක්‍රමවේදය ඉතා සාර්ථක වූ අතර ඔවුන් අනෙක් රට වලට සාපේක්ෂව මාස කිහිපයකට පෙර සාමාන්‍ය දිවි පෙවතක් ගත කිරිම ආරම්භ කරනු ලැබු බවත් මිලියන 30 ක ජනතාවක් අතරින් කොවිඩ් ආසාදිතයින් 32,000ක් සහ මරණ 936ක් පමණක් වාර්තා වූ බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මෙම ක්‍රමවේදයෙන් බැහැරව වෛරසය පාලනය කිරිමට උත්සාහ දැරූ රටවලට ඉන් මිදීමට නොහැකි වූ අතරම සාපේක්ෂව වැඩි මරණ සංඛ්‍යාවක් ද වාර්තා වූ බව එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍යය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියන 4.4ක් වන අතර මරණ සංඛ්‍යාව 127,000ක් වාර්තා වී ඇත. මිලියන 67ක් වන එරට ජනගහණයට සාපේක්ෂව ආසාදිතයින් වාර්තා වීම 138 ගුණයක් වන අතර මරණ වාර්තාවීම 136 ගුණයක් වනවා.

බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියා පිළිවෙතම අනුගමනය කළ ජර්මනිය සහ ප්‍රංශයේ ද කොවිඩ් ආසාදිතයින් මිලියන 8.8ක් සහ මරණ 185,000ක් පමණ වාර්තා වී තිබෙනවා.

මෙම පර්යේෂණය සිදුකළ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ ප්‍රධානි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විශේෂඥයෙක් වන මහාචාර්ය බැරී ප්‍රඩෙල්ස්කී කියා සිටියේ රට තුල වෛරස ව්‍යාප්තියට එරෙහිව පුර්ව වශයෙන් ක්‍රියා කළ රටවල් අනෙක් රටවලට සාපේක්ෂව සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටීමට හැකිවූ බවයි.

මෙම පර්යේෂණ කමිටුව විසින් යුරෝපය ඇතුළු ලොව රටවල් 37ක කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අධ්‍යනය කර තිබු අතර ඔස්ට්‍රේලියාව, අයිස්ලන්තය, ජපානය, නවසීලන්තය සහ දකුණු කොරියාව යන රටවල් වෛරසයෙන් තම රටවල් සම්පුර්ණයෙන් නිදහස්කර ගැනීම උදෙසා දැඩි ක්‍රියා මාර්ගවලට යොමු වූ බවයි පෙන්වා දෙන්නේ.

මෙම රටවල දළ දේශීය ආර්ථිකයද මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයට පෙර පැවති මට්ටමට ලඟා වෙමින් ඇති බවත් ඉන් ආර්ථික වාසීද අත්කර ගැනීමට සමත්ව තිබෙන බවයි එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ.

එමෙන්ම වෛරසය පාලනය කිරීමේදී ගනු ලැබූ දැඩි තීරණ හේතුවෙන් එම රටවල පුද්ගල සංචරණය සීමා වීම සහ ඒ ඇසුරෙන් ඇතිවූ විවිධ සමාජීය ගැටළු සම්බන්ධයෙන් ද මෙම පර්යේෂකයින් විසින් සිය අවධානය යොමු කර තිබුණා.