Friday, May 17, 2024

General line - 0115112241

කැස්බෑව ප්‍රදේශයෙන් දෛනිකව කොවිඩ් මරණ 02 බැගින් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි




අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනා ගත් බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 34,602 ක්.
මේ අතර කොරෝනා ආසාදිතව සිටි තවත් 1145 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 8,802 ක්. 

කෙසේවෙතත්, ඉදිරි දින කිහිපයේදී දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් තවදුරටත් වැඩිවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. ඔහු කියා සිටියේ මේවනවිට පැතිර යන වෛරසය වේගවත් මෙන්ම ඉන් සිදුවන සංකූලතා සහ මරණ ද වැඩි බවයි.

මේ අතර ගතවු පැය 24 දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිස වාර්තා වී තිබුණේ පිළියන්දලින්. පවතින තත්ත්වය යටතේ කැස්බෑව ප්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ 02 ක් පමණ සිදුවන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තික විජේසුන්දර පවසනවා. 

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන ද අද දිනයේත් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණා. ඒ, ස්ථාන 95 ක් කේන්ද්‍ර කර ගනිමින්. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත අද පස්වරුවේ තහවුරු කළේ සංකූලතා නොමැති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීමට තීරණය කර ඇති බවයි. 

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ එන්නත ලබා ගත්තද, ඉන් ආරක්ෂාවක් ලැබීමට සති 02 ක පමණ කාලයක් ගතවන බැවින් සියලුදෙනා තවදුරටත් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. 

වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව පළමුව එන්නත් මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව දස ලක්ෂ 90,521 ක්. දෙවන මාත්‍රාව ද ලබාදී ඇති සංඛ්‍යාව දෙලක්ෂ 33,992 ක් වනවා. 

මේ අතර පවතින කොරෝනා තත්ත්වය හමුවේ මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් ඇති රුධිර සංචිත සීග්‍රයෙන් අඩුවෙමින් ඇතැයි රෝහල් බලධාරීන් පවසනවා.