Wednesday, May 15, 2024

General line - 0115112241

හිග ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරටට ලැබෙයිද? තීරණය අදින් පසුව




මෙරට ජනතාවට දෙවන මාත්‍රාව ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම සඳහා එන්නත් සොයා ගැනීමේ කටයුතු ශ්‍රී ලංකා රජය තවදුරටත් සිදුකරමින් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට හිග වී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ප්‍රමාණය මෙරටට ලබාගත හැකිද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය අදින් පසුව ලැබීමට නියමිතයි. ඒ, රටවල් කිහිපයක් සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිපල ලැබීමට නියමිත බැවින්. 

ශ්‍රී ලංකාවට හිග වී ඇති එන්නත් මාත්‍රා සොයා ගැනීම සඳහා බලධාරීන් රටවල් කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කළා. ඒ, එම රටවල මේවනවිට අතිරික්තයක් ලෙස පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ අරමුණින්. කෙසේවෙතත්, නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ ඉන්දුනීසියාවේ ඇති බවට අනුමාන කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. 

මෙරට ජනතාවට පළමුව ලබා දුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. ඒ අනුව එම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබා දුන්නා. ශ්‍රී ලංකාවට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය දොලොස් ලක්ෂ 65,000 යි. ඒ අනුව දෙවන මාත්‍රාව ලබාදී සම්පූර්ණ කිරීම සඳහා ලක්ෂ 06 කට ආසන්න එන්නත් මාත්‍රා හිගයක්          ශ්‍රී ලංකාව තුළ පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් ඉදිරියට ගන්නා පියවර පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. එහිදී අනාවරණ වූයේ ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්විඩනය යන රටවල ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් තිබේදැයි එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් හරහා සොයා බලන බවයි. 

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නතක් මිශ්‍ර කර ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ද ක්‍රියාත්මකයි. 

මේ අතර වසංගත රෝග විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ලබන අගහරුවාදා පැවැත්වෙනවා. ඒ, සයිනෝෆාම් එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ද ලබාදිය හැකිදැයි සාකච්ඡා කිරීමටයි. ජනාධිපතිවරයා ඉකුත් දා වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබුණේ සයිනෝෆාම් එන්නත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ද ලබාදිය හැකිදැයි සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි. ඒ අනුවයි වසංගත රෝග විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ රැස්වීම ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව ඇත්තේ.