Friday, May 17, 2024

General line - 0115112241

එන්නත් කරන මධ්‍යස්ථාන අසල අදත් නොසන්සුන්තා




එන්නත්කරන වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේ කටයුතු බස්නාහිර පළාත තුළ අද දිනයේද ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක අතර අද දිනයේද එන්නත් ලබා ගැනීම සඳහා එන්නත් කරන මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඇතැම් මධ්‍යස්ථාන අසල නොසන්සුන්කාරී තත්ත්වයන්ද ඇති වූ බවද ඔවුන් සඳහන් කළා.  කිරිදිවැල ප්‍රදේශයේ එන්නත්කරන මධ්‍යස්ථානය අසලද අද පෙරවරුවේ එවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.

එන්නත්කරන වැඩසටහන යටතේ කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් ජනතාව එන්නත් නොලැබේ යැයි අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව පුද්ගලයින් 68,992 නෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව ලබා ගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 48,619ක්. 

සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජාතිකයින් 2,865 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඉන් 2,435 දෙනකුට දෙවන මාත්‍රාව ද ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්ෂ 25,242 නෙකුට ලබා දී තිබෙනවා. ඉන් පුද්ගලයින් දෙලක්ෂ 65,465 දෙනෙකුට එහි දෙවන මාත්‍රාවද ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 14,699 දෙනෙකු වෙත ලබා දී තිබෙනවා.