Tuesday, May 14, 2024

General line - 0115112241

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් දිනෙන් දින ඉහළ යයි




ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඒ, පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත් සමගයි.

පෙරේරා දිනයේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 761 ක් වාර්තා වුණා.

ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 822 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 674 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 ක් වාර්තා වී තිබෙනවා.

ගතවූ පැය 24 දිස්ත්‍රික්ක 09 කින් ආසාදිතයින් 100 ට වඩා වාර්තා වී ඇති අතර ආසාදිතයින් 500 ඉක්මවූ දිස්ත්‍රික්ක 02 ක්ද ඒ අතරට අයත්.

කළුතරට අමතරව කුරුණෑගල හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 200 ට වඩා වැඩියෙන් ඊයේ වාර්තා වී තිබෙනවා.

ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් දෛනික ආසාදිතයින් 100 කට වඩා වැඩියෙන් ඊයේ වාර්තා වුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 1783 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

පවතින තත්ත්වය සලකා ඉදිරියේදී කොරෝනා රෝග පාලනයට නව ක්‍රමවේද අත්හදා බැලීම සිදුකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එක් එක් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කොරෝනා ආසාදිතයින්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

එහි නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වන්නේ කළුතරින්. කොරෝනා ආසාදිතයින්ට හෝ සැක සහිත රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට ඒ පිළිබඳ දැනුම්දීමටත් ඒ හරහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් හඳුන්වා දීම එහිදී සිදුවනවා.