Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති විශේෂ තීරණ කිහිපයක් ගනී




කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැසකට එළඹ තිබෙනවා.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිතුමා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය.

සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදුකිරීම සහ බෙදාහැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන (Shipping Line) විවෘතව තැබීමට පියවර ගත යුතුය.

ප්‍රාදේශීයව ජංගම සේවා යොදා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමටත්, දිවයින පුරා ඇති සතොස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමටරැකියා ලක්ෂය සඳහා බඳවාගත් පිරිස යොදා ගැනීමටත් උපදෙස් දෙනු ලැබිණ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත්, මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලීසිය සමග යුද හමුදාව යෙදවීමටත් තීරණය කෙරිණ.

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු, සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

PCR පරීක්ෂණ සිදුකරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනා ගතහොත් එම ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම සෘජුව පැවරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආසාධිතයන්ට ප්‍රතිකාර කිරිමේ දී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් ද යොදා ගැනීමට තීරණය කෙරිණි.

මැයි මස 25 සහ 28 දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණ ද ජනතාවට නිවසින් බැහැර යාමට අවසර හිමි වන්නේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණි.

විදේශ රටවල් කිහිපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය.

එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින් ජනතාව බියට පත් කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපතිතුමා පැවසීය.

මෙතෙක් තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව ද අවධාරණය කළේය.

සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිතුමන් දැනුවත් කළහ.

වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.