Thursday, May 16, 2024

General line - 0115112241

සංචරණ සීමා පනවා ඇති කාලයේදී ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය සිදුවන අයුරු




සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 11 සිට ලබන 24 වනදා දක්වා දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනු ඇති. ලබන 25 වනදා රාත්‍රී 11 සිට 27 වනදා දක්වා ද ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට නියමිතයි. කෙසේවෙතත්, ලබන 28 වනදා අලුයම 4 න් පසු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ එන ලොරි රථ සඳහා එය අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව ලබන 25 වනදාට ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි රථ සඳහා 24 වනදා ගමන් කිරීමට අවසර හිමි වනවා. 25 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ භාණ්ඩ බෑමෙන් පසු 26 වන දින භාණ්ඩ රහිත හෝ වෙනත් භාණ්ඩ නැවත පටවා ගත් ලොරි රථ ආපසු ගමන් කිරීමට ද අවසර ලබාදී තිබෙනවා. ලබන 28 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි සඳහා ලබන 27 වනදා ගමන් කිරීමට අවසර ලබාදෙනු ඇති. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ ඉකුත් සති අන්තයේ සංචරණ සීමා පැනවූ අවස්ථාවේ ගොවීන් මුහුණ පෑ අසීරුතා වැළැක්වීම අරමුණු කර ගනිමින් කල් ඇතිව මෙම තීරණ දැනුම් දී ඇති බවයි.