Wednesday, May 15, 2024

General line - 0115112241

වැසි සහ තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - ගංවතුර අවදානමක් ගැනත් ඉඟි




නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම සහ බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය හේතුවන් ඉදිරියේදී ගංවතුර අවදානමක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ පිළිබඳ අදහස් පල කළ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සූගීෂ්වර.

කෙසේවෙතත් මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනයන් හා සැසදීමේදී කිසිදු ගංගා ද්‍රෝණියක ගංවතුර තත්ත්වයක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

පවතින වර්ෂාව හේතුවෙන් ආපදා තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණ දීම සඳහා හෙලිකොප්ටර් යානා 09ක්ද සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව හෙලිකොප්ටර් සහ ඊට අදාල බට පිරිස් සූදානම් කර තැබීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශණ පතිරණ අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා 02ක් ස්ථාන ගත කර තිබෙනවා. එමෙන්ම හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලෙිකොප්ටර් යානා 03ක් සහ පලාලි ගුවන් හමුදා කඳවුර තුළ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ. එමෙන්ම අනුරාධපුර ගුවන් හමුදා කඳවුර තුළ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා 02ක්ද සූදානම් කර තිබෙනවා. 

මේ අතර ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය හෙට දිනයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රීත මුහුදු ප්‍රදේශ සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවලින් වලකින ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත්.

බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100ක පමණ තද වැසි සහ තද සුළං අපේක්ෂා කර හැකි බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. 

පවතින වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05 කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා එම නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.