Tuesday, May 14, 2024

General line - 0115112241

නැවක් නිසා රුසියාව සහ බ්‍රිතාන්‍යයේ හොඳ හිත පළුදු වෙයි




රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර මේවනවිට යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවට අයත් නෞකාවක් කළු මුහුද  ආසන්නයේ යාත්‍රා කිරීමත් සමග රුසියාව ඊට විරෝධය පා වෙඩි ප්‍රහාර හා බෝම්බ හෙලීමේ සිද්ධිය පදනම් කර ගනිමින්. මේවනවිට දෙපාර්ශවය අතර සීතල යුද්ධයක් උද්ගතවි තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් දා වාර්තා වූ මෙම සිද්ධියෙන් පසුව රුසියාව සහ බ්‍රිතාන්‍යය තවදුරටත් එකිනෙකා හට වාග් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින බවයි. දෙපාර්ශවයම පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ පාර්ශවය අසත්‍ය වාර්තා පළ කරමින් සිටින බවයි. 

ක්‍රයිමියානු අර්ධද්වීපයට ආසන්න කළු මුහුදු සීමාවට ලගාවීමට උත්සහ කළ බ්‍රිතාන්‍යය නෞකාවට තමන් අනතුරු ඇගවීමේ වෙඩි ප්‍රහාර හා බෝම්බ හෙලීමක් සිදුකළ බවට රුසියාව ප්‍රකාශ කළා. රුසියාව පවසන්නේ බ්‍රිතාන්‍යය සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බවයි. 

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය පවසන්නේ සිය නෞකාව වෙත රුසියාවෙන් කිසිඳු වෙඩි ප්‍රහාරයක් හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල නොවූ බවයි. අදාළ මුහුදු ප්‍රදේශයේ රුසියාව යම් ප්‍රහාරාත්මක අභ්‍යාසයක නිතර වෙමින් සිටි බවටත් බ්‍රිතාන්‍යය චෝදනා කරනවා. තමන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය නොකළ බවත්, සිය නෞකාව ගමන් කළේ යුක්රේන මුහුදු සීමාව තුළ බවත් බ්‍රිතාන්‍යය අවධාරණය කළා.