Sunday, May 12, 2024

General line - 0115112241

ඩෙල්ටා අභිබවමින් ඉදිරියට එන අලුත් කොවිඩ් ප්‍රභේදය 




වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් වන “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොවපුරා රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටිනවා. මෙම ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරු රාජ්‍යයෙන්ය. දකුණු ඇමරිකානු රටවල් තුල වේගවත් ව්‍යාප්තියක් සහිත මෙම ප්‍රභේදය එරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 81% කට පමණ ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

“ලැම්ඩා” ප්‍රභේදය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූ "ඩෙල්ටා" කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය අභිබවා යනු ඇති බවට මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ අනතුරු අඟවා සිටියා.

ලැම්බඩා ප්‍රභේදය සාමාන්‍යයෙන් ඉහළ සම්ප්‍රේෂණයක් සහිත වන අතර ප්‍රතිශක්තිකරණයට එරෙහි ප්‍රතිරෝධය දක්වන ප්‍රභේදයක් බවයි විද්‍යාඥයින් අනුමාන කරන්නේ. කෙසේ වුවත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කරුණු සොයා බැලීමට අවශ්‍ය දත්ත රැස්කිරීමට මේ වන විටත් සෞඛ්‍ය විශේෂඥයින් කටයුතු අරඹා තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත CoronaVac එන්නත මගින් මිනිස් සිරුරේ නිපදවන ප්‍රතිශක්තිකරණය පරයා යෑමට "ලැම්ඩා" වෛරසයට හැකියාව ඇති බවට පේරු රාජ්‍යයේදී සිදුකළ පර්යේෂණයකින් හෙළිවූ බවට කියැවුනත් එම පර්යේෂණ වාර්තාව මේ දක්වා අධ්‍යයනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 14 වන දින ලැම්බඩා ප්‍රභේදය සිය "උනන්දුවක් දක්වන ප්‍රභේද" ලැයිස්තුවට ඇතුලත් කිරීමට කටයුතු කෙරුණා.

මිට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Eta (B.1.525), Iota (B.1.526) සහ Kappa (B.1.617.1) යන වෛරස ප්‍රභේද 03 ද සිය උනන්දුවක් දක්වන කොවිඩ් ප්‍රභේද ලැයිස්තුවට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.