Monday, May 13, 2024

General line - 0115112241

බොලිවුඩය බැබලවූ තවත් තරුවක් නිවී යයි




බොලිවුඩ් සිනමාවේ නොමැකෙන සටහනක් තබමින් යුග පෙරලියක් සිදු කළ අසහාය රංගධරයෙකු වන දිලිප් කුමාර් ජීවන රඟ මඬලට සමුදී තිබෙනවා.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මුම්බායිහි සින්දුජා රෝහලට ඇතුලත් කර සිටි දිලිප් කුමාර්, අද උදෑසන එම රෝහලේදී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.  මිය යන විට ඔහුගේ වයස අවුරුදු 98 ක්.

රෝහල මගින් දිලිප් කුමාර්ගේ අභාවය ප්‍රකාශයට පත් කළ සැණින් සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් ශෝකය පළ කරමින් ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ප්‍රකාශකර ඇත්තේ දිලිප් කුමාර් නාමය ඉන්දියානුවන්ගේ හදවත් තුල සදාකල් රැදෙනු ඇති බවයි. ඔහුගේ අභාවය ඉන්දියාවට මහත් පාඩුවක් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.

1922 වසරේ දෙසැම්බර් 11 වනදා දිලිප් කුමාර් උපත ලබන්නේ පකිස්තානයේ පේශවාර් හිදීයි. ඔහුගේ මුල් නම යුසුෆ් ඛාන් වුවත් පසුව දිලිප් කුමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු බොලිවුඩ් සිනමාවට පිවිසුනේ 1944 වසරේදීයි. එතැන් පටන් 40 දශකයේ සිට 80 දශකය දක්වා දිලිප් කුමාර් බොලිවුඩ් සිනමාවේ යුග පෙරලියක් සිදු කළ නළුවෙකු ලෙයසි හැඳින්වෙන්නේ.

වාණිජමය වශයෙන් සාර්ථක වූ චිත්‍රපට ගනනාවකට රංගනයෙන් දායක වූ දීලිප් කුමාර් මදුමතී සහ ගංගා යමුනා චිත්‍රපට හරහා වඩාත් ජනාදරයට පාත්‍ර වුණා.

ෆිල්ම් ෆෙයාර් සම්මාන 8 ක් දිනා ඇති ඔහු පද්ම විභූශන හා පද්ම භූෂන සම්මාන වලින් ද ඇගයීමට පාත්‍ර වුණා. පසුකාලීනව දේශපාලනයටද පිවිසි දිලිප් කුමාර් ඉන්දීය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද වනවා.

දිලිප් කුමාර් නම් අසහාය කලාකරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.