Tuesday, May 14, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 200 ක ගැටුම්-ලක්ෂ දෙකක් අවතැන්




ඇෆ්ගනිස්තානයේ දිස්ත්‍රික්ක 375න් 200ක පමණ රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර ගැටුම් පවතින බව අනාවරණය වනවා.  එම දිස්ත්‍රික්ක අතරින් 18ක්ම ඉරානයට, තජිකිස්තානයට සහ උස්බෙකිස්තානයට මායිම් වූ  ඒවා බව සදහන්.

ඇමරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාම ඇරඔූ පසුගිය අප්‍රේල් මස 21 සිට මේ දක්වා   ඇතිවූ ගැටුම්වලින් හමුදා සාමාජිකයන් 1000ක් පමණත්, සිවිල් වැසියන් 3000ක් පමණත් මියගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

ගැටුම් හේතුවෙන් මේ වනවිට අවතැන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙකක්. මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති, ෆාරිඩ් මාමුන්ඩ්සේ විසින්.

ඒඑන්අයි පුවත්සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මෙම තත්වය සම්බන්ධයෙන් පකිස්තානයට චෝදනා කර තිබෙනවා.

පකිස්තානය දිගින් දිගටම තලේබාන්වරැන්ට පහසුකම් සපයන බවත් ,පෙෂාවෝර් සහ ක්වෙට්ටාහි තලේබාන්වරැන්ගේ උපදේශක සභා පවත්වාගෙන යාමටත් ඉඩදී ඇති බවයි ඔහු චෝදනා කර ඇත්තේ.

තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් පවා පකිස්තානයේ රැදී සිටින බවට තානාපතිවරයා චෝදනා කර තිබෙනවා.

පසුගිය වසර දහයක පමණ කාලය තුළ ඇෆ්ගනිස්තානය යම් ප්‍රගතියක් අත්කර බවත් එය විනාශ කිරීමේ තලේබාන් වෑයමට පකිස්තානය සහය පළකරන බවටත් චෝදනා කරන තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය  කර ඇත්තේ ඇෆ්ගනිස්තාන හමුදා සටන කිසිසේත් අත්නොහරින බවයි.

දිගින් දිගටම සටන් කරන බවත්, තලේබාන් සංවිධානය පසුගිය දිනවල අල්ලාගත් ප්‍රදේශවල බගය,තහවුරැ කර ගැනීමට මෙහෙයුම් දියත් කරන බවත් ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන තානාපති ෆරීඩ් මාමුන්ඩ්සේ ප්‍රකාශ කර තිබෙනවා.