Tuesday, May 21, 2024

General line - 0115112241

අභියෝග ජයගැනීමට කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බව ජනපති කියයි




අනාගතයේ අභියෝග ජය ගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පුරපුර සන්නද්ධ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. සිදුවිය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමිවීම්, ආහාර සුරක්‍ෂිතතාව සහ පිරිසිදු ජලය ලබාගැනීමට ඇති හැකියාව අනාගතයේ එල්ල විය හැකි අභියෝග බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දිනයේ ආරම්භ වූ මෙම වැඩසටහන අවසන් වන්නේ හෙට දිනයේයි.

එම බාලදක්ෂ ජම්බෝරිය සඳහා රටවල් සියයක බාල දක්ෂයින් 20,000කට වැඩි පිරිසක් සහභාගීවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. සංස්කෘතිකමය වශයෙන් “එකම බාලදක්ෂ ලෝකයක්” යන තේමාව යටතේ පවත්වන මෙම ජම්බෝරිය බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට මාර්ගගත තාක්ෂණය යටතේ පැවැත්වෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය අපගේ ජීවන රටාව වෙනස් කිරීමට බලකර ඇති පසුබිමක එය අභියෝගයක් සේ නොසලකා පවතින තාක්‍ෂණය භාවිත කර බාලදක්‍ෂ ව්‍යාපාරය ලබාගත් ප්‍රවේශය සරල නමුත් ගැඹුරු ආදර්ශයක් ලබාදී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.