Thursday, May 16, 2024

General line - 0115112241

ගෑස් මිල වැඩි නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්




ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වුවත් මෙරට වෙළඳපොළේ ගෑස් මිල වැඩි නොකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගෑස් මිල ඉතා විශාල වශයෙන් ඉහළ ගියද එම පීඩනය පාරිභෝගිකයා මත ඇති නොකොට ගෑස් මිල පාලනය කිරීමට රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. වෙළඳ අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර වෙළඳපොලේ ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසනවා. එහි සභාපති තෙෂාර ජයසිංහ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් සියයට 20 ක් පමණ සපයනු ලබන ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති නමුත්, එම තත්ත්වය ආවරණය කිරීමට ලිට්‍රෝ සමාගමට හැකියාව පවතින බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම සිදු කරන බවදි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා. ඉදිරියේදී අවශ්‍ය වන අමතර ගෑස් ධාරිතාවය ගෙන්වා ගැනීමට වෙළඳපොළ හැකියාව සහ බෙදා හැරීමට අවශ්‍ය සැපයුම් ජාලය සිය ආයතනය සතුව ඇති බවයි ලිට්‍රෝ ගෑස් ලංකා සමගමේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.