Friday, May 17, 2024

General line - 0115112241

ඔන්ලයින් අතහැර ගුරුවරු අද කොළඹට




සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ පෙරේදා දිනයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ගුරු විදුහල්පති සංගම් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත් කර වැටුප් පිළිබඳ කොමිසමක් පිහිටුවා පුළුල් සංවාදයක් තුළින් බවයි.

රාජ්‍ය බදු ආදායමෙන් සියයට 86 ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත් රාජ්‍ය සේවයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් ජනතාව මත පනවන බදු වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණීම හෝ ණය ගැනීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

ගුරුවරුන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපනය බිඳ වැටී තිබෙනවා.