Friday, May 17, 2024

General line - 0115112241

ආකාස චෛත්‍ය නිසා යාල කැපෙයිද? සිතුල්පව්වේ හිමියන් උත්තර දෙයි




යාල ජාතික වනෝද්‍යානයේ සිතුල්පව්වට ආසන්න අලිගල ප්‍රදේශයේ පිහිටි ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා මෙතෙක් අවසන් තීරණයක් ලැබී නොමැති බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් පවසනවා. එම ස්ථානය නිරීක්ෂණය සඳහා තමන් වහන්සේ ඇතුලු පිරිසක් ඉකුත්දා සිදුකළ නිරීක්ෂණ චාරිකාව ඇතැමුන් වැරදි ලෙස අර්ථ දක්වා ඇති බවයි උන් වහන්සේ කියා සිටියේ. 

ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් විනාශ වීමේ අවදානමක් පවතින බවට සිදුකෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාරගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ආකාස චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවයි. ඒ අනුව පුරාවිද්‍යා ප්‍රමිතීන්ට අනුව සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සළකා බැලිය හැකි බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී කියා සිටියා. 

ඉන් බැහැරව වෙනත් කිසිදු ඉල්ලීමක් සඳහා අවසර දීමට තීරණයක් හෝ සළකා බැලීමක් හෝ කර නොමැති බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.