Saturday, May 11, 2024

General line - 0115112241

ඔලිම්පික් උළෙලට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකුට කොරෝනා




ජාත්‍යන්තරයේම අවදානය මධ්‍යයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භයට සියලු කටයුතු සූදානම්ව පවතිද්දී උළෙලට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකුට පමණ මේවනවිටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

එලෙස කොරෝනා ආසාදිත පුද්ගලයින් අතරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම ස්වේච්ඡා සේවකයින් සහ ඔලිම්පික් කමිටුවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් ද අයත්.

කෙසේවෙතත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්, පුද්ගල දුරස්ථභාවය, උෂ්ණත්ව පරීක්ෂාවන් සහ කොවිඩ් පරීක්ෂාව ඇතුළු ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳ ඔලිම්පික් සංවිධායකයින් පුරසාරම් පැවසුවත් එහි දැඩි අවදානමක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් අනතුරු අගවා ඇත්තේ.

මෙවර ඔලිම්පික් උළෙල නරඹන්නන් සඳහා තහනම් කර තිබුණත් 50,000 ක පමණ පිරිසක් උළෙලට සහභාගී වීම සඳහා ජපානයේ ටෝකියෝ නුවරට එක්වීමට නියමිතයි.

ඒ අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ස්වේච්ඡා සේවකයින් මෙන්ම මාධ්‍යවේදීන් ද අයත්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීයා පෙන්වා දෙන්නේ සාර්ථක ක්‍රීඩා උළෙලකදී කොවිඩ් සිද්ධීන් වාර්තා නොවීම සිදු නොවන නමුත් එය කොරෝනා පැතිරීමේ සුපිරි අවස්ථාවක් නොවිය යුතු බවයි.

කෙසේවතත් පවතින තත්ත්වය හමුවේ ඔලිම්පික් ක්‍රීඩා තරග අත්හිටුවීම සම්බන්ධයෙන් සංවිධායක කමිටුව මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැහැ.

එම කමිටුවේ ප්‍රධානියා පැවසුවේ පවතින තත්ත්වය පිළිබඳ අවදානයෙන් පසුවන බවයි.

කෙසේවෙතත් ක්‍රීඩා තරග අත්හිටුවීම, කොරෝනා ව්‍යාප්තිය නතර කිරීමට හැකි විසඳුමක් නොවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද පෙන්වා දෙනවා.