Saturday, May 11, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදනයෙන් මියගිය බහුතරයක් ගැන අනාවරණයක්




කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් හා දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද විශේෂ අනාවරණයක් සිදුකළා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති පුද්ගලයින් සහ මේවනවිටත් දැඩි සත්කාර ඒකකවල ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන්ගෙන් අති  බහුතරයක් කොරෝනා මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බවයි. 

සෞඛ්‍ය අංශවල දත්ත හා තොරතුරු වලින් ඒ බව අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ. එබැවින් වයස අවුරුදු 60 ට වැඩි සහ විවිධ සංකූලතා ඇති ජනතාව එම එන්නත්කරණ වැඩසටහන්වලට සහභාගී වී එන්නත් ලබාගෙන තමන් මෙන්ම අන් අයත් ආරක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලීමක් ද කරනවා. කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. 

මේවනවිටත් රජය විසින් ප්‍රමුඛතාවය අනුව දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට එන්නත් තොග ලැබී ඇති බවත්, ඉදිරියටත් ලැබෙමින් ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා. 

කෙසේවෙතත්, පසුගිය දින කිහිපය තුළ රජය විසින් සාර්ථක ලෙස එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකළත් එන්නත ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ යම් අඩුවීමක් සහ මන්දගාමී බවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසන්නේ. 
මේ අතර එක් වරකදී එන්නත් මාත්‍රා 02 ම ලබාදුන් පේරාදෙණියේ සිව්දරු මව අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. 

සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාවට එකම මධ්‍යස්ථානයකදී මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනකදී ලබාදීම සිදුව ඇත්තේ අතපසුවීමක් සහ නොසැලකිල්ල හේතුවෙන් බවයි.