Wednesday, May 15, 2024

General line - 0115112241

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නව තනතුරක් 




ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත් කර තිබෙනවා. වසර 03 ක කාලයකට බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනට කටයුතු කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළා. ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත් කර ඇත්තේ ළමුන් ඉලක්ක කර සිදුකෙරෙන අපචාර හා හිංසන සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක හට ගෙන ඇති පසුබිමක් තුළයි. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැඩි ආරක්ෂාවක් යටතේ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති විසින්.

ඉෂාලිනීගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් රජයේ අධිනීතීඥ හංස අබේරත්න, බී වාර්තාවක් මගින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අද කරුණු වාර්තා කළා. 

ඔහු පැවසුවේ දැරියගේ සිරුර හැටන් ඩයගම බටහිර කොටසේ පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති බැවින් සිරුර යළිත් ගොඩගැනීම නුවරඑළිය මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතු බවයි. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නිරෝධායන උපදෙස්වලට අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදී දැරියගේ සිරුර හෙට උදෑසන 08 යි 30 ට ගොඩගෙන දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පේරාදෙණිය රෝහලට යොමු කරන ලෙසයි.