Tuesday, May 14, 2024

General line - 0115112241

කොරෝනා මර්දන එන්නතක තුන්වන මාත්‍රාවක් ලබාදෙන පළමු රට බවට ඊශ්‍රායලය පත්වෙයි




වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා මර්දන එන්නතක තුන්වන මාත්‍රාවක් ලබාදෙන පළමු රට බවට ඊශ්‍රායලය පත්වනු ඇති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆාලි බෙනට් පැවසුවේ. මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 05 ක් ගතවූ පුද්ගලයින්ට එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදෙනු ඇති. ඊශ්‍රායල වැසියන්ට පළමු හා දෙවන මාත්‍රාව ලෙස ලබාදුන්නේ ෆයිසර් එන්නතයි.

ඒ අනුව එම එන්නතෙන් ඔවුන් සඳහා 03 වන මාත්‍රාවත් ලබාදෙනු ඇති.

තුන්වන මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සාග් පළමුව එන්නත් කිරීමට නියමිතයි. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා 61 වන වියට එළඹෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඊශ්‍රායලය මෙලෙස එරට ජනතාවට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදෙන්නේ රටතුළ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති පසුබිමක් තුළයි.

එන්නත් මාත්‍රා 02 කින් ලැබෙන ප්‍රතිශක්තීකරණය පමණක් ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල බලධාරීන්ගේ මතය වී තිබෙනවා. කෙසේවෙතත් මෙතෙක් කිසිඳු රටක් සිය පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීමට අනුමැතිය ලබාදී නැහැ.

එමෙන්ම තුන්වන මාත්‍රාවක් ලබාදිමෙන් ආසාදිතයින් අඩුකරගත හැකිද යන්න මෙතෙක් විශේෂඥයින් විසින් පෙන්වා දී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයට හමුදාව යොදවා තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නගරය අගෝස්තු 28 වනදා තෙක් වසා දමා ඇති පසුබිමක් තුළයි. නගර වැසියන් කොරෝනා රෙගුලාසි පිළිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එලෙස හමුදාව යෙදවූ බවයි සිඩ්නි බලධාරීන් පවසන්නේ.

පවතින තත්ත්වය අනුව සිඩ්නි වැසියන්ට තමන් පදිංචිව සිටින ස්ථානයේ සිට ගමන් කිරීමට අවසර හිමිවන්නේ කිලෝ මීටර් 10 ක දුර සීමාවකට පමණයි.