Friday, May 17, 2024

General line - 0115112241

එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක්




දිවයිනේ සියලු ප්‍රදේශ අළලා, එන්නත නොගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් ආසාදිත සහ මියගිය පිරිස් පිළිබඳ කළ අධ්‍යයනයන්ට අනුව ඉන් 95%කට ආසන්න ප්‍රතිශතයක් එන්නත් ලබා නොගත් අය බව අනාවරණය වී ඇත. එන්නත් බෙදාහැර තිබුණ ද මෙතෙක් එන්නත ලබාගෙන නොමැති අය පිළිබඳව විමර්ශනය කිරීමත්, ඔවුන් එන්නත ලබාගැනීමට පෙළඹවීමේ අවශ්‍යතාවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබුවා.

මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කඩිනම් සංගණනයක් සිදුකර, දින කිහිපයක් ඇතුළත එන්නත ලබානොගත් පිරිස පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

එන්නත ගෙන්වා දීමේ වගකීම රජය ඉටුකර තිබෙන බවත්, රෝගය පැතිර යාම වළකින ආකාරයෙන් ක්‍රියා කිරීමත්, එන්නත කඩිනමින් ලබාගැනීමත් ජනතාව සතු යුතුකමක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.