Tuesday, May 14, 2024

General line - 0115112241

අන්තර් පළාත් ප්‍රවාහන සේවා රාජකාරී සදහා යන පුද්ගලයන්ට පමණක් සීමා කෙරේ




රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට  අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම ප්‍රවාහන කටයුතු ආසන ගණනට පමණක් සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද දිනයේ සියලු ගමන් වාර ක්‍රියාත්මක නොවුණද ලබන සදුදා සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව බස් රථ සහ දුම්රිය ධාවනයට එක් කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

අද දිනයේ සියයට 50ක පමණ බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසුවේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

මේ අතර අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා. කෙසේවෙතත් පළාත් හරහා රාජකාරී සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් ගමන් කිරීමට අවසර ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.