Tuesday, May 14, 2024

General line - 0115112241

කොවිඩ් මරණ අතර වැඩි පිරිසක් එන්නත ලබා නොගත් අය




කොරෝනා මරණ තවදුරටත් වැඩි වශයෙන් වර්තාවන්නේ කොරෝනා මර්දන එන්නත ලබානොගත් පිරිස අතරින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ කොරෝනා මරණ පිළිබද සිදුකළ සමීක්‍ෂණයකදී හෙළි ඇත්තේ එක් දිනක් තුළ සිදුවූ කොරෝනා මරණ 66 ක් අතරින් පුද්ගලයන් 53 දෙනෙකුම මියගොස් ඇත්තේ කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් බවයි.

කොරෝනා මර්දන එන්නත් පිළිබද ඇතැම් පුද්ගලයින් සිදුකරන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ. සිය අමාත්‍යාංශ්‍ය ලබාදෙන උපදෙස් පමණක් පිළිගෙන මෙතෙක් එන්නත ලබානොගත් පුද්ගලයින් එම එන්නත ලබාගැනීමට කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.

මේ අතර මෙතෙක් එන්නත් ලබානොගත් පිරිස පිළිබද සමීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. 

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම සමීක්‍ෂණය කඩිනමින් ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.