Tuesday, May 21, 2024

General line - 0115112241

කාබනික පොහොර පිළිබඳ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ - රජය අවධාරණය කරයි




දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළයුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනස්කමක් සිදුකොට නොමැති බව රජය පවසනවා. දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි රජය අවධාරණය කරන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉකුත් මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාක පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත් ජූලි 30 වන දින නිකුත්කර ඇති ආනයන හා අපනයන පාලන නියමයන් අනුව අදාළ විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොරවන්නේ  අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූලව අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණක්ම වන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.