Tuesday, May 21, 2024

General line - 0115112241

කොවිඩ් මරණ 82ක් : ගෝලීය සමස්ත කොවිඩ් ආසාදිතයින් මිලියන 200 ඉක්මවයි




අද දිනයේදී හඳුනා ගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,561ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,586ක් බවයි එම වාර්තා මගින් දැක්වෙන්නේ. ඊයේ දිනයේදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 14,569ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ.

අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 318,755ක්. 

මෙරට දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ රාත්‍රියේ තහවුරු කළා. එම මරණ සංඛ්‍යාව 82 ක්. ඉන් 41 ක්ම කාන්තාවන්. සිදුවූ මරණ වලින් 60 ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වනවා.

සෙසු 22 දෙදෙනා අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවූවන්. මෙම මරණ ඉකුත් 03 වනදා සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම කොරෝනා මරණ සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අදහස් පළ කළා. 

ඉකුත් 02 වනදා ද, මෙරටින් කොරෝනා මරණ 74 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට තුළ සිදුවන දෛනික කොරෝනා මරණ ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා. ජූලි මස මුල් සතියේ සිට ගත් කළ මේවනවිට එම තත්ත්වය වැඩිවෙමින් ඇති බවයි සෞඛ්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වන්නේ. 

ගතවු දින 05 තුලදී පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 12,093 දෙනෙකු සහ කොවිඩ් මරණ 347ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තා කර සිටිනවා.

මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 200 සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200,609,549ක්. සමස්ත මරණ සංඛ්‍යාව 4,265,072ක්. සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 180,788,355ක් වනවා.