Tuesday, May 21, 2024

General line - 0115112241

මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කොරෝනා




අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,230 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගලටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර ඔහුගේ ආශ්‍රීතයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සීමා කර තිබෙනවා. ඒ අනුව බදාදා සහ සිකුරාදා යන දිනවල තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තැබෙන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර කොළඹ ප්‍රධාන දුම්රිය පාලන කාර්යාලයේ කටයුතුවලටද කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.  ඒ, පාලකවරුන් 05කට සහ කාර්යාල සහයකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. කෙසේවෙතත් දුම්රිය ධාවන කටයුතු සමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය කරමින් අහංගම ප්‍රදේශයේ අද පැවැත්වු මල්වර උත්සවයක් තහනම් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම මල්වර උත්සවය පැවති නිවස වෙත පැමිණි අවස්ථාවේ 50 දෙනෙකු පමණ එහි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පසුව සියලු දෙනා විසුරුවා හැර ඇති අතර නිවෙස් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.