Sunday, May 12, 2024

General line - 0115112241

රටේ ඉදිරිය ගැන තීරණය කරන කොවිඩ් රැස්වීම ඇරඹෙයි




වත්මන් කොරෝනා තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ සාකච්ඡාවක් මේවනවිට ආරම්භ වී තිබෙනවා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

වෙනදාට මෙම සාකච්ඡාවට සහභාගී නොවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඊට එක්ව සිටිනවා.

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්දයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ රජයේ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ සදහා සහභාගි වී ඇත්තේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්. 

එම සාකච්චාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අද උදෑසන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලු සිය නියෝජිතයින් දෙදෙනෙකු යවා ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී රට වසා දමන ලෙස දිගින් දිගටම කරන ඉල්ලීම් මෙන්ම රෝගීන් වාර්තාවීම හා රෝහල් ධාරිතාව සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයකට ලක් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අද උදෑසන කළ විමසීමකදී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී වත්මන් තත්ත්වය සහ සංචරණ සීමා සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී වැදගත් තීන්දු තීරණ ගැනීමට නියමිත බවත්, ඒවා අද පස්වරුවේ දැනුම්දීමට නියමිත බවත් නෙත් නිවුස් කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පැවසුවා.

මේ වන විට ආරම්භ වී ඇති වත්මන් කොරෝනා තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන විශේෂ සාකච්ඡාවේ තොරතුරු නෙත් නිවුස් හරහා ගෙන ඒමට සූදානම්.