Sunday, May 12, 2024

General line - 0115112241

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් තිදරු මවක් මරුට 




කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් තිදරු මවක් සහ තවත් පුද්ගලයෙකු කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් නිවෙස තුළ මිය ගොස් තිබෙනවා. 

මෙලෙස මිය ගොස් ඇත්තේ 75 හැවිරිදි තිදැරු මවක් සහ අහංගම විස්කම් මාවතේ පදිංචි විවාහක පුද්ගලයෙක්. 

මිය ගිය තිදරු මව අංශභාග රෝගය වැළදී වසර 06ක පමණ කාලයේ සිට නිවසේ එක්තැන්ව සිට තිබෙනවා. 

ඇය දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග සඳහාද ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

සෙම ගතිය වැඩිවී එක් වරම හුස්ම සිර වීමෙන් ඇය මියගොස් තිබෙනවා. ඇය කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ඉකුත් 13වනදා ලබා ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. 

මිය ගිය අනෙක් පුද්ගලයා වසර 15ක පමණ සිට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැඩි රෝගවලින් පෙලුනු අයෙක්. 

ඔහු ඉකුත් 14වනදා කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මරණ 198 ක් තහවුරු කළා. ඉන් 154 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. 

මේ වන විට මෙරටින් කොරෝනා මරණ 7,183ක් වාර්තා වී තිබෙනවා. ඉන් 5,487 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්  වනවා.