Tuesday, May 14, 2024

General line - 0115112241

ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33 ක් කපා හැරේ




2022 වසර සදහා වන රජයේ වියදම් රුපියල් බිලියන 33 කින් අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා. 

ඒ, 2022 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුවයි. ඒ අනුව 2022 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත මුළු වියදම රුපියල් බිලියන 2,505 යි දශම 3 ක්. එය මේ වසරේ රජයේ මුළු වියදම වූ රුපියල් බිලියන 2,538 ට සාපේක්‍ෂව බිලියන 33 ක අඩුවීමක්. 

2022 වසරේ ඇස්තමේන්තුගත මුළු වියදමින් රුපියල් බිලියන 1,776 ක් පුනරාවර්ථන වියදම් වනවා. පොදු සේවාවන් සදහා රුපියල් බිලියන 12 යි දශම 6 ක් වෙන්කර තිබෙනවා. 

ඊට ජනාධිපති, අග්‍රාමාත්‍ය, අමාත්‍ය මණ්ඩල යන කාර්යාල මෙන්ම අධිකරණය, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා ඇතුළු ආයතන අයත්. ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2 යි දශම 7 යි 8 ක්. එය මෙම වසරට සාපේක්‍ෂව ජනාධිපතිවරයාගේ වියදම රුපියල් බිලියන 6 යි දශම 6 කින් අඩුකර තිබෙනවා. 

2022 විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයටයි. එම මුදල රුපියල් බිලියන 373 ක්. මේ වසරේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට වෙන්කළ මුදල හා සැසදීමේදී එය රුපියල් බිලියන 18 ක වැඩිවීමක්. ආරක්‍ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශීර්ෂයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් බිලියන 286 යි දශම 7 ක්. ඉන් බිලියන 286ක්ම පුනරාවර්ථන වියදම් වනවා.

ඉන් පසුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මහා මාර්ග අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් බිලියන 250 යි දශම එකක් වන අතර ඉන් රුපියල් බිලියන 250 ක්ම ප්‍රාග්ධන වියදම් වනවා. ලබන වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කරන මුදල මේ වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන  එකයි දශම එකකින් ඉහළ දමා තිබෙනවා. මේ වසරේ රුපියල් බිලියන 126 යි දශම 5 ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ලබන වසරේදී බිලියන 127 යි දශම 6 ක් දක්වා වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ. 

කෙසේවෙතත් මෙම වසරට සාපේක්‍ෂව සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල ලබන වසරේදී රුපියල් බිලියන 6 කින් අඩු කර තිබෙනවා. ලබන වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 153 යි දශම 5 ක්. මුදල් අමාත්‍යාංශයට රුපියල් බිලියන 185 යි දශම 9 ක් වෙන්කර ඇත්තේ මේ වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 28 ක වැඩිවීමක් ලෙසයි. 

අයවැය දෙවනවර කියවීම නොවැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත අතර අයවැය ඡන්දය දෙසැම්බර් 10 වනදා පැවත්වෙනවා.  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දින 26කට නොවැඩි දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම සදහා වෙන් කෙරෙන අතර ඉන් දෙවැනි වර කියැවීම සදහා දින 07කට නොවැඩි කාලයක් වෙන්කරනු ලබනවා.