Tuesday, May 14, 2024

General line - 0115112241

ඇමරිකානු ආයුධ ඇෆ්ගනිස්තානයේ දී තොග පිටින් විකිණේ




ඇමරිකානු හමුදා සතුව තිබී   තලේබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද අවිආයුධ මේ වන විට ඇෆ්ගනිස්තානයේ දී විශාල වශයෙන් අලෙවි කෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තලේබාන් සාමාජිකයන් වෙතින් මිලදී ගන්නා එම  අවිආයුධ විකිණීම සදහා ආයුධ වෙළෙන්දන් විසින් වෙනම වෙළෙද සැල් පවා ස්ථාපිත කර ඇති බව සදහන්.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති පරිදි, පිස්තෝල ,රයිපල් ,ජීව උණ්ඩ,දුරබලන කණ්නාඩි,රාත්‍රී අදුර විනිවිදින උපකරණ  වැනි ආයුධ සහ මිලිටරි උපකරණ  මෙහිදී වැඩි වශයෙන් අලෙවි ⁣කෙරෙනවා.

කන්දහාර් ඇතුළු ඇෆ්ගනිස්තානයේ දකුණු දිග පළාත් ගණනාවක මෙම ව්‍යාපාරය පුලුල්ව පැතිර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යන විට විශාල අවිආයුධ තොගයක් අතහැර දැමුණා.

ඒ අතර වූ අධිතාක්ෂණික අවි ආයුධ යළි භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීය කළ බවයි ඇමරිකානු හමුදා ප්‍රකාශ කළේ.

එහෙත්, එසේ අක්‍රීය කළ නොහැකි විවිධාකාරයේ සුලු අවි විශාල තොගයක්ද අතහැර දමා ගොස් ඇති අතර මෙසේ අළෙවි කෙරෙන්නේ එම අවි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ දී  ඇතැම් අවිආයුධ එළෙස අත්හැර දමා යාම ආරක්ෂක විශ්ලේෂකයන් පසුගිය කාලසීමාවේදී දිගින් දිගටම විවේචනය ක⁣ළේ මෙවැනි තත්වයක් මතුවිය හැකි බවට අනාවැකි පළකරමින්.