Tuesday, May 14, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය නීතිපති දැනුම් දෙයි




නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි. 

දීර්ඝ කාලයක සිට මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා ක්‍රියාත්මකයි. පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වුවද පවතින නීතිමය තත්ත්වය හමුවේ එය සිදුකළ නොහැකි බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම කාරක සභාවට දැනුම් දී ඇත්තේ.

මේ අතර අවශ්‍ය නීති සංශෝධනය කර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මීට පෙර ප්‍රකාශ කළා. ඒ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉකුත් 29 වනදා එම කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදීයි. මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් සභා පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බව ද ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

පළාත් සභා නවයේම නිල කාලය අවසන්ව මේ වනවිට වසර 03කට අධික කාලයක් ගතව ඇති අතර සියලු පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේයි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති නිර්දේශය ලබා දෙන්නැයි ඉකුත්දා මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණා.