Friday, May 17, 2024

General line - 0115112241

ඇවිදින මංතීරුවක් නිසා නාවලපිටියේ නාගරික මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්




නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේ රුපියල් මිලියන 20 ක වියදමකින් ඉදිවන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම ක්‍රීඩාංගණය වෙත අද පැමිණි නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා. 

අදාළ මංතීරුව පිළිබඳ සොයා බැලීමට එම නගර සභාවේ හිටපු සභාපති සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සජීව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් එම ක්‍රීඩාංගනයේ ප්‍රධාන ගේට්ටුව අසලට අද පැමිණි අවස්ථාවේදී අදාළ ගේට්ටුව නගර සභාව මගින් වසා දමා තිබුණා. 

ඒ අනුව එම පිරිස අදාළ ස්ථානයේ රැඳී සිටියදී නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර සහ තවත් නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණියත්, ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදී දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරු වූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම නාවලපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා. ගුටිබැට හුවමාරුවට මැදිව සිටි සමගි ජනබලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් පවසන්නේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් සිය පාර්ශවය විරුද්ධ නොවූවත් එය ඉදිකිරීමට සුදුසු ස්ථානය ජයතිලක ක්‍රීඩාංගනය නොවන බවයි. 

කෙසේවෙතත් එම ක්‍රීඩාංගනය තුළ සිදුකෙරෙන ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට හිටපු සභාපතිවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරමින් සිටින බවටයි නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර පැවසුවේ.