Friday, March 29, 2024

General line - 0115112241

NDB බැංකුව ප්‍රථම වරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා NEOS Biz ඇප් එක හඳුන්වා දෙයි




සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය මෙන්ම නවෝත්පාදනයන් සඳහා ඉතා වැදගත් වේ. අපනයන අංශය තුලද විශාල වැඩ කොටසක් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහාද  ඉතා ඉහළ කාර්යභාරයක් ඉටු කරයි.  

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආර්ථිකයේ හදවත බඳු වුව ද, වසංගතය හේතුවෙන් ඇති වූ සීමාවන් හේතුවෙන් ලොව පුරා ඩිජිටල් පරිවර්තනයේ සීඝ්‍ර ව්‍යාප්තිය මුළුමනින්ම වැළඳ ගැනීමට අවස්ථාවක් හෝ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. මූල්‍ය ගනුදෙනු වල ආරක්‍ෂාව, පහසුව සහ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම සඳහා තාක්‍ෂණය සහ විශේෂයෙන් ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කිරීම ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඉතා වැදගත් වන නමුත් මෙම ව්‍යවසායකයින් සඳහාම සුවිශේෂී වූ ඇප් එකක ලුහුඬුතාවයක් පවතී.

මෙම අවශ්‍යතාවය හඳුනාගත් NDB බැංකුව, ඩිජිටල් නවෝත්පාදනයන්හි සැමවිටම ඉදිරියෙන්ම සිටින බැංකුවක් ලෙසත්, ශ්‍රී ලංකාව නවමු තාක්ෂණයන් විවර කරන පුරෝගාමියකු ලෙසත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ම සකසන ලද NDB NEOSBiz ජංගම බැංකුකරණ වේදිකාව හඳුන්වා දී ඇත.

අන්තර්ජාලය හරහාත්, ස්මාර්ට් දුරකථන හරහාත් භාවිතා කළ හැකි NDB NEOSBiz සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර ගනුදෙනු ඩිජිටල් ආකාරයෙන් කළමනාකරණය කර ගත හැකි ආකාරයේ පහසුකම් රැසක් ගෙන එයි. ආරක්‍ෂිතව හා සරලව මූල්‍ය ගනුදෙනු කළමනාකරණය සඳහා NDB NEOSBiz අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර එය පුළුල් පරාසයක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රමාණයකට සේවා සපයයි.

ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකට NEOSBiz නොමිලේ ඩවුන්ලෝඩ් කල හැකි අතර එමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එම සේවාව සඳහා ලියාපදිංචි වී විවිධ ගනුදෙනු ගණනාවක් කිරීම සඳහා තනි පරිශීලකයන් යෙදවීමට හැකි වේ. එසේ යොදවනු ලැබූවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ට ගනුදෙනු සීමාවන් පැණවිය හැකිවීම ද විශේෂත්වයකි. NEOSBiz හරහා සිදු කෙරෙන සියලුම ගණුදෙනු කෙරෙහි පූර්ණ පාලනයක් සහ විනිවිදභාවයක් ලබා ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට ඉන් අවස්ථාව ලැබේ. මෙම ඇප් එක මඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම්, කාඩ්පත්, ස්ථාවර තැන්පතු, ණය සහ කල්බදු කළමනාකරණයට ඉඩ සලසන අතර ව්‍යාපාරය යටතේ සිටින මූල්‍යමය අංශයේ සේවකයන්ට ද ප්‍රවේශ අවස්ථා (Multiuser login) ලබා දීමට ඉඩ සලසයි. 

ඊට අමතරව, ගෙවීම් සහ අනෙකුත් ගනුදෙනු සුමට හා පහසු ක්‍රියාවලියක් බවට පත් කිරීමේ උත්සාහයක් ලෙස, NEOSBiz හි එක්වර කිහිප දෙනෙක්ට වැටුප් ගෙවීම්, අරමුදල් හුවමාරු කිරීම, සියළුම සැපයුම්කරුවන් කළමනාකරණය කිරීම, බිල්පත් ගෙවීම් සහ QR ගෙවීම් පහසුකම් ඇතුළත් වේ. මෙම වේදිකාව හරහා, වෙළෙන්දන්ට තම සැපයුම්කරුවන්ට මෙන්ම සේවකයන්ට ද පහසුවෙන් එක්වරම ගෙවිය හැකිය.

එපමණක් ද නොව, මෑත කාලීන ගනුදෙනු බැලීමට සහ ක්‍රෙඩිට් කාඩ් පියවීම් පහසුකම් සමඟ තම ගනුදෙනු විමර්ශන වාර්තාව (ගනුදෙනු ඉතිහාසය) ලබා ගෙන එකවර සියළුම ගනුදෙනු කළමනාකරණය කිරීමට ද හැකිය.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු සියලුම ව්‍යවසායකයින්ට සිය දෛනික ව්‍යාපාරික බැංකු ගනුදෙනු ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් සහ වේගවත්ව කර ගැනීමට මෙම සේවාව උපකාරී වේ.

NDB NEOS සෑම විටම NDB සහ NDB නොවන ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා පුද්ගලික බැංකු ගනුදෙනු පහසු කරවීමට කැපවූ සේවාවකි. ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකු සැපයුම්කරු බවට පත්වීමේ අභිලාෂයෙන් යුත් මෙම ගමනේ දී ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයේ ලුහුඬුතා ගවේෂණය කිරීම, ආයෝජනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ද NDB බැංකුව සක්‍රීයව කටයුතු කරයි. NEOS ෆයිජිටල් (Phygital) ශාඛා, මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර (Cash Recycle Machines) සහ Bank2U සේවාවන් NEOS ඇප් එක සහ ඔන්ලයින් බෑන්කිං සේවාවන් හා සමගාමීව පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ප්‍රමාණයක් සපයනු ලබයි.

තරගකාරීත්වය මධ්‍යයේ වුව ද NDB බැංකුව අඛණ්ඩව ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස තම සේවාදායකයින්ට මෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයින්ට නව බැංකු ක්‍රම හඳුන්වා දෙමින් සිටියි. ඒ අනුව, 2021 හොඳම බැංකුව ලෙසත්, එක්සත් රාජධානියේ බෑංකර් සඟරාව විසින් “ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව - 2020” ලෙසත් නම් කරන ලද NDB බැංකුව ඒෂියාමනි සඟරාව විසින් 2021 වසරේ සම්මාන උළෙලේදී “හොඳම ඩිජිටල් බැංකුව” ලෙස ද සම්මානයට පාත්‍ර වූයේය. 

NDB යනු ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත කර ඇති 4 වන විශාලතම බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම ද වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.