Sunday, May 12, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල කොටස විවෘත නොකිරීම ගැන මැති සබයේදී ප්‍රශ්න කෙරේ




අයවැය දෙවන වර කියවීමේ විවාදය දෙවන දිනටත්  පාර්ලිමේන්තුවේදී මේවනවිට පැවැත්වෙනවා.

අද විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලයි.

අද දින විවාදය ආරම්භ වන අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා සභා ගර්භයේ නොසිටීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අදහස් පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එම චෝදනාවලට පිළිතුරු ලබාදීමත් සමගයි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම සංවාදයට මැදිහත් වුණා.

විවාදයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ කාලීන ආර්ථික ගැටළුවලට අයවැයෙන් විසඳුම් ලබාදී නොමැති බවයි.

ඉන් අනතුරුව විවාදයට එක්වුණේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

පාසැල්වල මෙතෙක් විවෘත නොකළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විවාදයට එක්ව සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සභා ගර්භයට පැමිණි බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු මහේෂ් චතුරංග පැවසුවේ.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කර ඇති මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මෙතෙක් විවෘත නොකිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේ මෙම මාසය ඇතුළත එම මාර්ගය විවෘත කරන බවයි.