Saturday, May 11, 2024

General line - 0115112241

සමගි ජනබලවේගයේ උද්ඝෝෂණයට අධිකරණයෙන් තීන්දු දෙකක්




සමගි ජන බලවේගය, කොළඹ - කෙසෙල්වත්ත ප්‍රදේශයේ හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම් අධිකරණ හයකින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

කෙසේවෙතත් උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය කළ ඉල්ලීම් අධිකරණ 5 කින් පිළිගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ උපමානවලට අනුකූලව උද්ඝෝෂණය පවත්වන ලෙසට එම පක්ෂ ක්‍රියාකාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

 එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිතව කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල එහිදී අවධාරණය කර ඇත්තේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජන රැස්වීම්වලට සහභාගීවිය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ඊට අදාළව සංඛ්‍යාත්මක ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කළ නියෝගයට අදාළව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය, මොරටුව අධිකරණයෙන් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහිදී මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩගේ පොලීසිය වෙත සඳහන් කර ඇත්තේ නීත්‍යානුකූල රැස්වීමක් අවලංගු කිරීමට මැදිහත්වීමට බලයක් අධිකරණය වෙත නොමැති බවයි. කෙසේවෙතත් එය නීතිවිරෝධී හෝ නිරෝධායන රීති කඩ කිරීමක් වැනි දෙයක් සිදු වුවහොත් පොලීසියට ඒ සම්බන්ධව පියවර ගෙන අධිකරණයට වාර්තා කළ හැකි බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම්දී තිබෙනවා. 

ඊට අමතරව සමගි ජන බලවේගයේ විරෝධතාවට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය කළ ඉල්ලීම් මතුගම සහ කලුතර මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ප්‍රතික්ෂේප කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එමෙන්ම මාලිගාවත්ත සහ ගංගොඩවිල අධිකරණවලින් පොලීසිය කළ ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වී ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. 

කෙසේවෙතත් හෙට පැවැත්වීමට නියමිත සමගි ජනබලවේගයේ උද්ඝෝෂණය වලක්වමින් අලුත්කඩේ අංක 05 , මහර අංක 1 හා 2, කඩුවෙල, හොරණ සහ හෝමාගම යන මහේස්ත්‍රාත් අධිකරණවලින් නියෝග නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ. 
කෙසේවෙතත් සැලසුම් කළ පරිදි හෙට දිනයේ කොළඹදී සිය උද්ඝෝෂණය පවත්වන බව සමගි ජන බලවේගය පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ එම උද්ඝෝෂණය නතර කිරීමට ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිලිවෙලට තමන් කිසිසේත් බිය නොවන බවයි. එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

සමගි ජනබලවේගය උද්ඝෝෂණය සංවිධාන කරන්නේ උද්ඝෝෂණ, රැස්වීම් හා ජන ඒකරාශිවීම් වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබියදීම විශේෂත්වයක්.