Saturday, May 11, 2024

General line - 0115112241

ඩොලර් හිගය නිසා අවලංගු වූ නොරොච්චෝලේ ගල් අගුරු ටෙන්ඩර් යළි ඉදිරිපත් කිරීම අද




නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමට ඉකුත්දා අවලංගු වූ ටෙන්ඩර් දෙක වෙනුවට එක් ටෙන්ඩරයක් අද යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අදාළ ටෙන්ඩර් දෙක සංශෝධනය කර එක් ටෙන්ඩරයක් ලෙසයි. 

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඉකුත්දා එම ටෙන්ඩර් දෙක හදිසියේ අවලංගු වී ඇති බවයි. අදාල පාර්ශවයන් විසින් මෙරට සමග ණයවර ලිපි විවෘත කිරීමේ අවිනිෂ්චිත භාවය පෙන්නුම් කර ඇති බවද එහිදී අනාවරණ වුණා. එමෙන්ම ගල්අගුරු සැපයීම සඳහා එම පාර්ශවයන් අත්පිට මුදල් ඉල්ලා ඇති බවටයි වාර්තා වුණේ. 

වාර්ෂිකව මෙරට ගල්අගුරු අවශ්‍යතාව වන මෙටි්‍රක් ටොන් මිලියන 2.3න් සියයට 50ක් දිගු කාලීන සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනෙනවා. ඉතිරි සියයට 50 සම්පූර්ණ කර ගන්නේ ක්ෂණික මිලදී ගැනීම්වලින්. ඉකුත්දා අවලංගු කර ඇති ටෙන්ඩර් 02 හරහා ගල් අගුරු මෙටි්‍රක් ටොන් ලක්ෂ 06ක් නැව් 10කින් මෙරටට ලබා ගැනීමටයි නියමිතව තිබුණේ. 

සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ගල් අගුරු අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ ඔක්තොම්බර් සිට අප්‍රේල් මස දක්වා කාලය තුළදීයි. ඒ අනුව දින 05කට වරක් මෙටි්‍රක් ටොන් 60,000 බැගින් මෙරටට ගල් අගුරු රැගෙන ඒම සිදුවනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ මෙම වසරට ප්‍රමාණවත් ගල් අගුරු තොග මේ වන විටත් රට තුළ ඇති බවයි. එම ප්‍රමාණය මෙටි්‍රක් ටොන් ලක්ෂ 06ක්. 

ඒ අනුව ගල් අගුරු ටෙන්ඩර් යළි අවලංගු වීම හේතුවෙන් ගැටලුවක් මතු වුවහොත් එහි බලපෑම ඇත්තේ ලබන වසරේ විදුලි උත්පාදනය සඳහායි.