Tuesday, May 14, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව වෛද්‍ය සංගමය අනතුරු අඟවයි 




ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. 

කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් එම ප්‍රභේදය රටට ඇතුළුවීම ප්‍රමාද කරගත හැකි බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න අද පැවැති මාධ්‍ය හමුවකදි සඳහන් කළේ. 

මේ අතර පවතින තත්ත්වය හමුවේ කටුනායක ගුවන් තොටුපළේ සිදුකෙරෙන  ආවේක්ෂණ කටයුතු සහ කොරෝනා පරීක්ෂණ කටුයුතු පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. 

කටුනායක ගුවන් තොටුපළේ පවතින ලිහිල් ක්‍රියාපටිපාටිය හේතුවෙන් මගීන්ට සෞඛ්‍ය අංශ මගහැර යාමේ හැකියාවක් ද පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා. 

නිසි ධාරිතාවෙන් කොරෝනා පරීක්ෂණ සිදුකළ හොත් මෙරටින් ද ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයින් හමුවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති දැඩි විකෘතිතාවයකින් යුත් ”ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වෛද්‍ය සංගමය මුලික කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකර තිබෙනවා.

 මස් පිඩු වේදනාව, සුළු කැස්ස, ඇඟේ තෙහෙට්ටුව නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් දැකිය හැකි රෝග ලක්ෂණ වන බවයි ඔවුන් සඳහන් කළේ.

කොවිඩ් රෝගීන් අතර මින් පෙර සුලභව පැවති ගඳ සුවඳ නොදැනීම මෙම නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූවන්ගෙන් දක්නට නොලැබෙන බව දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් අනාවරණ කරනවා.  

මේ අතර ඔස්ටේ්‍රලියාවෙන් ද ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදෙස් පුවත් තුළින් බලාපොරොත්තු වන්න.