Tuesday, May 14, 2024

General line - 0115112241

ඔමික්‍රොන් රටට ඇතුළු වී තිබිය හැකියි - සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්නැයි ඉල්ලීමක්




ජාන විශ්ලේෂණ පරීක්‍ෂාවකින් තහවුරු කර ගන්නා තෙක් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය රටට ඇතුළු වී තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්‍ෂාකාරීව සිටීම සියලුදෙනාගේ වගකීම වන බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීමට රටවල් 6 කින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට පැමිණීම තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙරටට පැමිණීමට තහනම් කෙරුණු දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් ඉකුත් දින 14 ක කාලය තුළ කිසිදු සංචාරකයෙකු මෙරටට පැමිණ නොමැති බවයි සංචාරක අමාත්‍යාංශය පැවසුවේ.

එහෙත් ලොව බොහෝ රටවල මේ වනවිටත් ව්‍යාප්තවෙමින් පවතින ඔමික්‍රොන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද ඊයේ ප්‍රකාශ කළා.

කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් එම ප්‍රභේදය රටට ඇතුළුවීම ප්‍රමාද කළ හැකි බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ.

එවන් පසුබිමක් තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ සෞඛ්‍ය විශේෂඥයින් අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.