Wednesday, May 15, 2024

General line - 0115112241

රටවල් විස්සකින් තලේබාන් සංවිධානයට අවවාදයක්




ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් විස්සක් පමණ නීතියට පටහැනිව සිදුකරන ඝාතන නවතා දමන ලෙස ඇෆ්ගනිස්තානයට අවධාරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ පැවති ආණ්ඩුවේ හමුදා සාමාජිකයන් කිසිදු චෝදනාවක්, නඩු විභාගයක් නොමැතිව බලහත්කාරයෙන් පැහැරගෙනයාම සහ ඝාතනය කිරීම හේතුවෙන් අදාළ අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති බවයි.

තලේබාන් සංවිධානය පසුගිය අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ගතවූ මාස තුනක කාලය තුළ මෙවැනි ඝාතන සහ අතුරැදන් කිරීම් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගියදා අනාවරණය කළා.

ඇෆ්ගනිස්තානයේ පැවති ආණ්ඩුවේ හමුදා සාමාජිකයන්ට පොදු සමාවක් ප්‍රධානය කරන බවට තලේබාන් සංවිධානය නිවේදනය කර තිබෙනවා.

එසේ තිබියදීත්, මෙවැනි ඝාතන සහ පැහැරගෙනයාම් සිදුවීම කණගාටුදායක තත්වයක් බවයි එම රටවල් විස්ස මගින් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් තලේබාන් සංවිධානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ හියුමන් රයිට්ස් වොච් වාර්තාව සාක්ෂි නොමැතිව ඉදිරිපත් කර ඇති එකක් බවයි.