Wednesday, May 15, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයේ සාදයකින් කොරෝනා පොකුරක් - ආසාදිතයින් අතර වෛද්‍යවරුන් හා හෙදියන් රැසක්




ස්පාඤ්ඤයේ පැවැති නත්තල් සාදයකින් කොරෝනා පොකුරක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. විදෙස් වාර්තා පැවසුවේ සාදයට පුද්ගලයින් 170 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර එරට ප්‍රාදේශීය රෝහලක සේවය කරන වෛද්‍යවරුන් සහ හෙදියන් පිරිසක් ද උත්සවයට සහභාගී වූවන් අතරට අයත් බවයි.

ඔවුන්ගෙන් ඇතැමෙක් දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කරන බවයි විදෙස් වාර්තා පැවසුවේ. සාදයට සහභාගී වීමට පෙර ආරාධනා ලැබූ පිරිස කොරෝනා පරීක්ෂණ සඳහා පෙනී සිට තිබුණා. 

කෙසේවෙතත් මේවනවිට උත්සවයට සහභාගී වූ පිරිස අතරින් 70 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඉන් 68 දෙනෙකුම සාදයට සහභාගී වී සිටි වෛද්‍යවරුන් සහ හෙදියන් වනවා. ආසාදිතයින් සියලුදෙනා කොරෝනා මර්දන එන්නත් ලබාගෙන ඇති අතර ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වන බවයි පැවසෙන්නේ. 

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවදානය යොමුව තිබෙනවා. පවතින අවදානම් තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර ඒකරාශීවීම් අවම කරන ලෙසයි බලධාරින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. 

ස්පාඤ්ඤය මේවනවිට සිටින්නේ තවත් කොරෝනා රැල්ලක් අභියස බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.