Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දියානු බලය හමුවේ දින 13කින් බිදවැටුණු නැගෙනහිර පාකිස්තානය




70 දශකය ලෝක දේශපාලනය උඩු යටිකුරු කළ සිදුවීම් රැසක්ම සිදුවූ දශකයක්. 

එහි ආරම්භය සනිටුහන් වුණේ පාකිස්ථානයට මදි නොකියන්නට ඉන්දියාවෙන් පාඩම් උගෙන ගැනීමට සිදුවූ ඉන්දු - පාකිස්ථාන යුද්ධයත් සමගයි. 

එහි ඉතිහාස කථාව නැගෙනහිර පාකිස්ථානයේ පැවති මහ මැතිවරණයක් දක්වා ඈතට දිව යනවා. 

එහිදී ස්වයං අයිතිය වෙනුවෙන් පෙනීසිටි ශෙයික් මුජිබර් රහ්මාන් ගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය 1971 වසරේදී නැගෙනහිර පකිස්තානයේ පැවති මැතිවරණය  විශිෂ්ඨ ලෙස ජය ගැනීමට සමත් වනවා.
කෙසේ වෙතත් මැතිවරණ ජය හිමි කර ගත්තද අවාමි ලීගයට නැගෙනහිර පාකිස්ථානයේ බලය පැවරීමට පාකිස්තාන මධ්‍යම රජය කිසි ලෙසකින් කටයුතු කලේ නැහැ.
1971 මාර්තු 26 වනදා බංග්ලාදේශය ස්වාධීන රාජ්‍යයක් ලෙස බුජිබර් රහ්මාන් විසින් ප්‍රකාශයට පත් කලේ එහි ප්‍රථිපලයක් වශයෙන්. 

ඒ සමග උරණ වූ පාකිස්ථාන හමුදා, බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට දරුණු ක්‍රියාමාර්ග වලට එළැඔුණේ මනුෂ්‍යත්වය එරෙහි කෘෘර වධ බන්ධනයන්ට නිරායුධ සිවිල් වැසියන් පත් කරමින්.
අත් අඩංගුවට ගැනීම්, ඝාතන, ස්ත්‍රී දූෂණ කිසිදු ආකාරයේ සීමාවකින් තොරව සිදු කෙරුණ බව ඊට මුහුණ දුන් පිරිස් අදටත් සිහිපත් කරන්නේ ඇඩූ කදුළුන්.
1971 බංගලිදේශයේ නිදහස සඳහා වූ යුද්ධයේදී, පකිස්තාන හමුදාවේ සාමාජිකයින් සහ රසාකාර් නම් වූ පකිස්තාන ගැති ඉස්ලාමීය සටන්කාමීන් විසින් බංග්ලාදේශ කාන්තාවන් සහ ගැහැණු දරුවන් 200,000 ත් 400,000 ත් අතර සංඛ්‍යාවක් දූෂණය කර ඇති බවට වාර්තා පළ වනවා. 

තත්ත්වය මෙසේ වෙද්දී දස දහස් ගණනින් නැගෙනහිර පාකිස්ථාන වැසියන් සරණාගතයන් ලෙස ඉන්දියාවට පළා ගියා.
කෙසේ වෙතත් පකිස්තාන හමුදා බෙංගාල වැසියන්ට සිදුකරන අනර්ථයන් පිළිබදව ඉන්දීය පාලනය බටහිර ප්‍රමුඛ ජාත්‍යන්තරයට කොතෙකුත් සැළ කළද බටහිර බලවතුන්ගේ සහාය දිගින් දිගටම පාකිස්ථාන පාළනයට හිමිවුණා.
වොෂින්ටනය එවක ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිට අනතුරු අගවමින් කියා සිටියේ බෙංගාලියන්ට සහය දැක්වීමෙන් වළකින් ලෙසයි.
කෙසේ වෙතත් භූමියේ පැවති තත්ත්වය මත ඉන්දියාව, බෙන්ගලියන්ට සහය පළ කිරීමට ඓතිහාසික තීරණයකට එළැඹෙනවා.
ඉන්දියාව යුද්ධයකින් පරාජය කලයුතු බවට ලාහෝරයේ හා ඉස්ලාබාදයේ ඇතැමුන් උද්ඝෝෂණ වල නිරත වුණේ මේ අතරතුරයි.
මේ අතරවාරයේ චීනයද බොරදියේ මාළුබාමින් ඉන්දියාව බෙන්ගාලියන්ට සහය දැක්වීම විවේචනය අතරතුර ,පාකිස්ථානයට දන්වා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව විසදා ගන්නා ලෙසයි.
දිනය 1971 දෙසැම්බර් 03 දා.........
එදින උදෑසන පකිස්ථාන ගුවන් යානා 50ක් පමණ ඉන්දීය ගුවන් පථ ඇතුළු ඉලක්ක 11කට පහර දීමත් සමග ඉන්දු-පාකිස්ථාන යුද්ධය ආරම්භ වුණා.
ඉන්දියාව සතුරු ආක්‍රමණයකට ලක්ව ඇතැයි ප්‍රකාශ කළ ඉන්දිරා ගාන්ධි සතුරාට පෙරලා පහර දෙන ලෙස ඉන්දීය හමුදාවට නියෝග කලා.
කෙසේ වෙතත් පාකිස්තාන නායක යහියා ඛාන් පාකිස්ථානය නියත ලෙස මෙම යුද්ධය ජය ගනු ඇති බවට උදම්අනමින් සිටියා.
එකල නවීනතම T 55 යුද ටංකි ඇතුළු සන්නාහ සන්නද්ධ බලඝන සමග සවිමත් වූ ඉන්දීය පාබල බලඝන නවයක් නැගෙනහිර පාකිස්ථානයට ඇතුළු වුණේ පාකිස්තාන හමුදා අන්දමන්ද කරමින්. 

බෙන්ගාලි වරුන්ගේ සහාය මෙහිදී ඉන්දියාව වෙත හිමිවීම පාකිස්ථානුවන්ගේ පරාජයේ සේයාවන් මතුකිරීමට සමත්වුණා. 

දින කිහිපයක් තුල නැගෙනහිර පාකිස්තානයේ ගුවන් හමුදාව විනාශ කොට දැමූ ඉන්දීය හමුදාව , පාකිස්තාන හමුදා සාමාජිකයන් බෙංගාල බොක්කට කොටුකිරීමට සමත්වුණා. 

වැඩ වැරදුන බව තේරුම් ගත් යහියා ඛාන් වහා මැදිහත් වන ලෙස ඉල්ලා අමෙරිකානු වොෂින්ටන් පාලනයේ සිය සගයන්ට පණිවුඩ යැවුවේ මේ අතරතුරයි. 

ඉන්දීය ප්‍රති ප්‍රහාරය හමුවේ පාකිස්ථාන හමුදා බරපතල පසුබැස්මකට මුහුන දෙමින් සිටියදී අමෙරිකාව සිය යුධ නෞකා කිහිපයක් බෙංගාල බොක්ක දෙසට යොමුකලේ ඉන්දියාව බිය ගැන්වීමේ අරමුණින්. 

කෙසේ වෙතත් ඉන්දියාව ඊට නොබියව මුහුණ දෙද්දී ,සම්මැරීන් සහිත රුසියානු නාවික බලඝනයන්ගේ සහය ඉන්දියාවට හිමිවීමත් සමග පාකිස්ථානයේ එම උත්සහයන්ද ව්‍යර්ත වුණා. 

බෙංගාලයේ කොටුවී සිටි 91000ක් පාකිස්ථාන සෙබළු දෙසැම්බර් 16 ඉන්දියාව හමුවේ සිදුවූ මෙම දැවැන්ත පරාජය භාරගෙන අවි බිමතබා යටත් වූණා. 

1971 දෙසැම්බර් 16 වන දින ඩැකා හි රම්නා ධාවන පථයේදී පකිස්ථාන නැගෙනහිර අණදෙන නිලධාරි ලුතිනන් ජෙනරාල් ඒ.ඒ.කේ.නියාසි, ඉන්දීය ලුතිනන් ජෙනරාල් ජග්ජිත් සිංහා ඉදිරියේ යටත්වීමට අදාල ලියවිල්ල සදහා අත්සන් තැබුවා. 

යටත් වීමෙන් පසුව, ඉන්දියානු හමුදාව ආසන්න වශයෙන් 90,000 පකිස්තාන සෙබළුන් සහ ඔවුන්ගේ බෙංගාලි ආධාරකරුවන් යුද හමුදා බාරයට ගත් අතර, එය දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ විශාලතම යටත් වීම බවට  ඉතිහාසය සාක්ෂි දරණවා. 

දින 13ක් වැනි කෙටි කාළයක් පැවති මෙම ගැටුම් හේතුවෙන් පාකිස්තානුවන්  9,000ක් මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 25,000ක්. 

ලද දරුණු පරාජය හමුවේ, නැගෙනහිර පාකිස්තානය ඉතිහාස පොතෙන් වියැකී ගිය අතර බංග්ලාදේශ බිහිවීම මේ අනුව සිදුවුණා.

පකිස්ථාන හමුදාව සහ ඔවුන්ගේ ප්‍රාදේශීය නියෝජිතයින් විසින් කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සහ අනවශ්‍ය පුද්ගල ඝාතන සිදුකර ඇති බව මෙම යුද්ධයෙන් අනතුරුව සිදුකෙරෙනු ඉහළ මට්ටමේ පරීක්ෂණ වලදී අණාවරන වුණා. 

පකිස්තාන හමුදාවේ අසාර්ථකත්වයන් හෙලිදරව් කළ එම වාර්තා මගින් පකිස්තාන හමුදා ජෙනරාල්වරුන් වෙත සෘජුවම දොස් පැවරුණු අතර, ඔවුන්ට අශික්ෂිත ක්‍රියා සිදුකිරීම , ජාවාරම්, යුධ අපරාධ සහ රාජකාරිය නොසලකා හැරීම යන චෝදනා එල්ල වුණා. 

කෙසේ වෙතත් යුද අපරාධ චෝදනා එල්ල වූ පාකිස්තානයේ ඉහළ පෙළේ හමුදා ප්‍රධානින් හට එම පරීක්ෂණ වාර්තා  මත පදනම් වී නඩු පැවරීම් හෝ දඬුවම් කිරීම සිදුවූයේද යන්න අදටත් ගැටලුසහගත තත්ත්වයක්.
ස්වාධීන පරීක්ෂණ සිදු කර දඬුවම් පැමිණවීම වෙනුවට එවක සිටි පාකිස්තාන හමුදා ප්‍රධානීන් ධුරයෙන් පහ කිරීම වැනි කටයුතු පමණක් එරට මධ්‍යම රජය විසින් සිදු කළ බව විදෙස් වාර්තාවල සඳහන්. 

කෙසේ වෙතත් 1972 වසරේ ජූලි මස දෙවැනි දා පැවති ඉන්දු පාකිස්තාන සමුළුවෙන් අනතුරුව ඉන්දියාව භාරයේ රඳවාගෙන සිටි පාකිස්තාන සිරකරුවන් අනූ දහසක් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ඉන්දියාව කටයුතු කළේ හොඳහිත ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙසයි. 

තත්වය මෙසේ වුවත් අදටත් පාකිස්තාන පාර්ශ්වයෙන් විවිධ කෙනෙහෙලිකම් ඉන්දියාව දෙසට එල්ල වනවා. 

එයින් මනාව පැහැදිලි වන්නේ 1971 වසරේදී සිදු වූ දෙයින් හෝ පාඩමක් ඉගෙන ගැනීමට පකිස්තානය තවමත් සමත්වී නොමැති බවයි. 

අදටත් සමස්ථ ලෝකයාටම ආගමික අන්තවාදය වැපිරීමේ මධ්‍යස්ථානයක් බවට අද පාකිස්තානය පත්ව සිටීම ඉතා නිර්ලජ්ජිත කරුණක්. 

එය දකුණු ආසියානු  අසල්වැසි රාජ්‍යයන්ට මෙන්ම සමස්ත ලෝකයටම එල්ල කරන්නේ බරපතළ තර්ජනයක්.