Friday, May 17, 2024

General line - 0115112241

ඔමික්‍රොන් යුරෝපය ගිල ගන්නා ලකුණු




බ්‍රිතාන්‍යයෙන් යළිත් වරක් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා. ඒ අනුව එරටින් ඊයේ ආසාදිතයින් 88,376 දෙනෙකු වාර්තා වුණා. එරටින් මේ දක්වා හඳුනාගෙන ඇති වැඩිම ආසාදිතයින් පිරිස එයයි. 

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බවයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෙලෙස එකවර විශාල ආසාදිතයින් පිරිසක් වාර්තාවීමට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය බව ද සෞඛ්‍ය විශේෂඥයින් පවසනවා. ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් ජනවාරි මාසය වනවිට තත්ත්වය තවත් දරුණු වනු ඇති බවයි ඔවුන් අනාවැකි පළ කරන්නේ. 

අවදානම් තත්ත්වයක් මතුව තිබියදීත් සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට මේ වනවිට චෝදනා රැසක් ද එල්ල වනවා. 

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින අනෙක් රට වන්නේ ඩෙන්මාර්කයයි. ඩෙන්මාර්කයෙන් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 3,000 ක් පමණ හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඉකුත් නොවැම්බර් මස අග භාගයේ සිට මේ දක්වා ඩෙන්මාර්කයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 9,000 ක් පමණ හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉතාලියෙන් ද යළිත් වරක් සැලකිය යුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව වාර්තා වනවා. කෙසේවෙතත් එලෙස ආසාදිතයින් ගණන ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසාද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ. 

කෙසේවෙතත් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන ආසාදිතයින් සංඛ්‍යාව ද මේවනවිට දෛනිකව ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

පෝලන්තයෙන්ද පළමු වරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබෙනවා. තවත් සැකකටයුතු සාම්පල රැසක් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

අයර්ලන්තයෙන් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ප්‍රතිශතය දින 02 ක් ඇතුළත දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේවනවිට එරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ප්‍රතිශතය සියයට 27 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ කැනඩාව ද දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටිනවා. ඉක්මන් ක්‍රියාමාර්ග නොගත හොත් ලබන මාසය වනවිට දැඩි සත්කාර සොයා ගැනීම පවා අර්බුදයක් වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ බිය පළ කරන්නේ.

ජපානයෙන් ද පළමුවරට සමාජය තුලින් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගෙන ඇත්තේ කාන්තාවක් වන අතර ඇය මෑතකදී කිසිඳු රටක සංචාරය කර නොතිබීම විශේෂත්වයක්. පවතින තත්ත්වය හමුවේ දැඩි අවදානමක් මතුව ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ.