Friday, May 17, 2024

General line - 0115112241

ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක ගින්නක් - 27 ක් මරුට




ජපානයේ ඔසාකා නුවර පිහිටි ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක සිව්වන මහලේ එම ගින්න හටගෙන ඇති බවයි. 

ගින්න හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි මේවනවිට වාර්තා වන්නේ. 

හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් එම පුද්ගලයින් මියගොස් ඇතැයි වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් ජපන් මාධ්‍ය වාර්තා කළා. තුවාල ලැබූ පිරිස 28 කට අධිකයි.

කිසියම් පුද්ගලයෙකු හිතාමතා ගිනි තැබීම සිදුකළේදැයි සැකපළ වන බව ඔසාකා පොලීසිය පවසනවා. පොලිස් පරික්ෂණ ද ඒ ඔස්සේ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්න හටගත් සිව්වන මහලේ කවුළු රැසක් පිළිස්සී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එම මහලේ මනෝචිකිත්සක සායනයක් පවත්වාගෙන යන අතර උදෑසන 10ට පමණ එය විවෘත කර තිබෙනවා. ඉන් සුළු වේලාවකට පසු ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් විනාඩි 30 ක පමණ කාලයක් ඇතුළත ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම් සමත් වී තිබුණා.  

ගින්න හටගත් අදාළ ගොඩනැගිල්ලේ පිහිටි අනෙක් මහල්වල රූපලාවාන්‍යාගාරයක්, රෙදිපිළි අලෙවිසැලක් සහ ඉංග්‍රීසි භාෂා පාසැලක් පවත්වාගෙන යනවා. ගොඩනැගිල්ල පිහිටි ජපානයේ ඔසාකා නුවර සැලකෙන්නේ කාර්්‍යයබහුල වාණිජ නගරයක් ලෙසයි.